“අපේ ආණ්ඩුව ආවාම පළිගනීවි, ගැටුම් ඇති වේව්, සාමකාමිත්වය බිඳේවි වැනි කතා කියන්න පටන්ගෙන තිබෙන බවත් මේ සියල්ලටම හොඳම පිළිතුර ලෙස ලබන 26 වැනිදා එළිදකින අපේ මැතිවරණ ප්රකාශනය කියවිය යුතු” බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඇඹිලිපිටිය නගරයේ පැවැති ජන රැලිය අමතමින් හෙතෙම මේ අදහස් පළ කළේය.
එහිදී අනුර දිසානායක මහතා මෙසේද කීය.;
“රනිල් වික්‍රමසිංහලා පළාත් පාලන ඡන්ද, පළාත් සභා ඡන්ද, නොපවත්වා කට්ටි පනිමින් හිටියා. සැප්තැම්බර් 21දාට බෙල්ලෙන්ම අහුවෙලා තිබෙනවා. ජනාධිපති ඡන්දය දිනුවාම අනෙක් ඡන්දවල ප්‍රතිඵල චන්ද්‍රිකා වැවේ සොරොව්ව ඇරියා වගේ වෙනවා. සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමටත් මේ පාලකයන් පලවා හැරීමටත් ජනතාවට තීන්දුවක් ගන්න මෑත සිදුවීම් වුවත් හොඳටම ප්‍රමාණවත්. මේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ ප්‍රධාන කථිකයා වුණේ පවිත්‍රාදේවි. රනිල් වික්‍රමසිංහ රට විනාශ කළ බවත්, හම්බන්තොට වරාය විකිණූ බවත්, මහ බැංකු මංකොල්ලය සිදුකළ බවත්, ඒ නිසා රනිල් කඳවුර පරාජය කොට මහින්ද කඳවුර දිනවිය යුතු බවත් එයා කව්වා. දැන් එයා රාජපක්ෂ පරාජය කරන්නත් වික්‍රමසිංහ දිනවන්නත් කතා කරනවා.
ජෝන් සෙනෙවිරත්න අද රනිල්ගේ කිහිලිකරුවක් වෙලා. මේ අයගේ දේශපාලනය තේරුම් ගන්න මේකම ප්‍රමාණවත් නැද්ද? සජිත් ප්‍රේමදාස පරාජය කරවන්න, ඩලස්, ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා වේදිකාවල කෑමොර දුන්නා. අද ඒ ගොල්ලන්ම සජිත් දිනවන්න කතා කරනවා. අද, ස.ජ.බ.යේ සභාපති ෆොන්සේකා එළියේ.
පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් ඇතුළේ. මේ දේශපාලන විගඩම නතර කරන්න ඕනෑ නැද්ද? එහෙට මෙහෙට පනින දේශපාලනය නවත්වන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් තවත් නීති ශක්තිමත් කොට, පැන්නොත් මන්ත්‍රි ධුරය අහෝසි කරනවා.
ඉස්සර අපිට විරුද්ධව සියයට තුනක් ගත්ත කට්ටිය කොහොමද බලයට එන්නේ කිව්වා. අද ජාතික ජන බලවේගය බලයට ආවාම කරන දේ ගැන ඒගොල්ලොම කියනවා. ඒකෙත් වෙනසක් පේනවා. අපේ ප්රතිපත්තිවල නැති, අපි කියන්නේ නැති, ඒ ගොල්ලන් විසින් හදාගත්ත බොරු කතා කියන්න පටන් ගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවාම පළි ගනීවි, ගැටුම් ඇති වේව්, සාමකාමිත්වය බිඳේවි වැනි කතා කියන්න පටන්ගෙන තිබෙනවා. මේ සියල්ලටම හොඳම පිළිතුර ලෙස අපේ මැතිවරණ ප්රකාශනය මේ මාසය තුළ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
මේ පාලකයන් කවදාවත් දුප්පත්භාවය තුරන් කරන්නේ නැහැ. ඒ ගොල්ලන්ට ඡන්ද කරන්න ජනතාවගේ දුප්පත්කම ඕනෑ. රනිල් ඡන්ද කාලවල වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් හදලා, කාර් හදලා රැකීරක්ෂා ඇති කරනවා කිව්වා. බයිසිකලේ තෙමි තෙමී යන කෙනාට පොඩි කාර් එකක යන්න අවස්ථාව හදනවා කිව්වා. නොමිලේ පාවිච්චි කරන්න ෆ්‍රී වයි-ෆයි දෙනවා කව්වා. තවත් විටෙක බ්‍රෙස්ලට් දෙනවා කව්ව. අන්තිමේදී හාල් කිලෝ දහයක් දුන්නා. මේ නායකයන් ලැජ්ජා වෙන්න ඕනෑ. මේ පාලකයන් ගොවි ජනතාවගේ කෘෂිකර්මාන්තය ඵලදායී ව්‍යාපාරයක් බවට පත්කරන්නේ නැහැ. අලුතින් ආර්ථික අවස්ථා හදන්නේ නැහැ. ජනතාව දුප්පත්භාවයෙන් දුප්පත්භාවයට තල්ලු කරනවා. ඡන්දෙ කාලෙට පෝලිම් ගහලා බඩු බෙදනවා. ජනතාවට ආර්ථික හයියක් තිබුණොත් ඡන්ද කාලෙට බෙදන බඩු ගන්න පෝලිමේ යයිද? ගිනිපෙට්ටියක් ගන්න යයිද?
මේ රටේ දුප්පත්භාවය අවසන් කරන ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. අපි ආර්ථික සැලැස්මක් හදා තිබෙනවා. ඒ සැලැස්ම රට පොහොසත් කරන සැලැස්මක්.
රට පොහොසත් වුණාම ජනතාවට ලස්සන ජීවිතයක් හිමි වෙනවා. මේ වැඩේ අපි කළ යුතුයි. අවුරුදු 76ක් මේක නොකළ අය අද කරයිද? තවදුරටත් ඒ පැරැණි, අසාර්ථක දේශපාලන මාවතේ තවදුරටත් ඉදිරියට යෑමෙන් වැඩක් නැහැ. ඒ නිසා අපි දැන් යන්න ඕනෑ අලුත් මාවතකයි. ජාතික ජන බලවේගය ප්රමුඛ කරගත් මහජන ව්‍යාපාරය අතට බලය මාරුකර ගත යුතුයි.
අද හෙළි කළ තොරතුරක් තමයි, හන්තානේ අක්කර 12යි රූඩ් හා පර්චස් ගණනක ආණ්ඩුවේ ඉඩම් මේ ජනවාරි මාසෙ ඉල්ලලා තිබෙන්නේ කබීර් හසීම්. එයා ස.ජ.බ.යේ ප්‍රබල මන්ත්‍රිවරයෙක්. රනිල් වික්‍රමසිංහ විශේෂ අනුමැතියක් දී තිබෙනවා, මේ ඉඩම ඉක්මනින් කබීර්ට දෙන්න කියලා. මේ ඉඩම් එකට බෙදා ගන්නවා. බාර් ලයිසන් බෙදා ගන්නවා. පෙට්‍රල් ෂෙඩ්වල ලයිසන් බෙදා ගන්නවා. මේ දෙගොල්ල එකට එකතු වෙලා මහජනයාගේ ධනය හොරකම් කර ගන්නවා. ‘වේදිකාවට නැඟලා හොරකම, වංචාව නතර කරනවා, හොරුන්ට දඬුවම් දෙනවා, හොරාගත් දේපළ පවරා ගන්නවා’ කියලා කෑ මොර දෙනවා. ඒගොල්ලන්ට කවදාවත් හොරකම, නාස්තිය වළක්වන්න බැහැ. ඒක කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි. හොරකම, වංචාව, නාස්තිය නතර කරනවා. හොරකම් කළ අයට දඬුවම් දෙනවා. හොරකම් කරපු දේපළ පවරා ගන්න ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපිට පළිගැනීමේ චේතනාවක් නැහැ. පෞද්ගලික නඩු කිසිවක් නැහැ. අපිට බේරා ගන්න නඩුවක් තිබෙනවා. ඒ මොකක්ද? අපේ රට මේ තරමට දුප්පත් කිරීමේ, අපේ ජනතාව දුප්පත්කමේ පතුලට හෙළීමේ, මහජනතාවගේ ධනය සොරකම් කිරීමේ ප්‍රතිවිපාකවලට නම්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි හදන්නේ නීතියේ විධානයේ ආධිපත්‍යය සැමට එක හා සමාන ලෙස සලකන ආණ්ඩුවක්.
මීට කලින් ඔබලාගෙන් බලය ලබා ගැනීම සඳහා ඡන්දය ඉල්ලුවේ නැහැ. අපට බලය ලබාදෙන්න ජනතාව අපිව තෝරාගෙන සිටියේ නැහැ. එදා ජනතාව තෝරාගෙන සිටියේ, මහින්ද, ගොඨාභය, සජිත් හෝ රනිල් වෙන්න පුළුවන්. අපට බලය ලබාදෙන්න මහජනතාවගේ සූදානමක් තිබුණේ නැහැ.
හැබැයි මේ සැරේ එහෙම නොවෙයි. ජාතික ජන බලවේගය බලය ලබා ගැනීම සඳහා සූදානම් ව්‍යාපාරයක්. මහජනතාවත් ජාතික ජන බලවේගයට බලය ලබාදෙන්න සූදානම් වෙලා තිබෙන අවස්ථාවක්. මේක තමයි නියම අවස්ථාව. මේ අවස්ථාව අතහරින්න එපා. ගම්පිටින් අපි එකතු වෙමු. ගම් පිටින් අපි පොර බදමු. මේ දින කිහිපයේ වැඩ කරමු. අපිව සම්බන්ධ නොවුණු සෑම කෙනෙක්ම හමුවෙමු. කතා කරමු. සැප්තැම්බර් මාසේ 21දා ජාතික ජන බලවේගය ජහග්‍රහණය කරවමු.”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි,
මහා ඛේදවාචකයකට තල්ලු කළ ඔබේ රට ගොඩගන්න, ගොඩනඟන්න පුළුවන් එකම ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජාතික ජන බලවේගය පමණයි. අනෙකුත් දේශපාලන ව්‍යාපාර දිහා බලන්න. ඔවුන්ට අද වචන පටලැවෙන්නේ නැතිව, වැකියක් පටලැවෙන්නේ නැතිව කියා ගන්න බැහැ. ඒකට හේතුව ඒගොල්ලන් ගත කරපු දූෂිත, අශිෂ්ට දේශපාලන සංස්කෘතිය. මම සති දෙකක්, ජනමාධ්‍යයට සවන්දීලා ලියා ගත්ත වැකි ටිකක් ඉදිරිපත් කරන්නම්. “එයාලා එහෙ ගියාට ඡන්ද තියෙන්නේ මහින්ද මහත්තයා ළඟ” ජොන්ස්ටන්. “පොහොට්ටුව රැකගන්න මහින්ද මහත්තයා ආයෙත් ජනාධිපති කරනවා” ප්‍රසන්න රණතුංග කියනවා. ඔබ හිතලා බලන්න ඔහු හිටියේ කොතැනද, දැන් ඉන්නේ කොතනද? මේ කියන්නේ මොකක්ද කියලා. ඔබ හිතලා බලන්න. අපි මොනවද මේ අහන්නේ කියලා. මේක තමයි මේ වෙලාවේ තිබෙන උන්මත්තක දේශපාලනයේ ශේෂ පත්‍රය. අවුරුදු 76ක් ඇවෑමෙන් ඔවුන් ඉතිරිකර ගත්තු දේශපාලන ශේෂ පත්‍රය තමයි මේක.
සැප්තැම්බර් 21 මේ රටේ කාන්තාව නිදහස් වෙන දවස. ගොවියා, කම්කරුවා, ලිපිකරුවා, මහාචාර්යවරයා, විද්වතා නිදහස් වෙන දවස. ඔබ සූදානම් වෙන්න ඕනෑ මේ මහා ජනතා රජය ඇති කරන්න. අනුර කුමාර සහෝදරයා මහා වැඩි ඡන්ද ප්‍රමාණයකින්, තෝරා ගන්නා මහා ජනතා පෙරළියට, මහා විප්ලවයට ඔබ සූදානම් වෙන්න. ඔහු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අතිගරු කෑල්ල අතහැරලා, කටපුරා ජනාධිපති සහෝදරයා කියන්න පුළුවන් කෙනෙක්.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය;
ඊයෙ පෙරේදා රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් අමතන අවස්ථාවක, එක මාධ්‍යවේදියෙක් ඔහුගෙන් අහනවා, ඔබට සහයෝගයට ඇවිත් තිබෙන කණ්ඩායම ගැන ප්‍රශ්න කරනවා. ඔහු කියනවා “ඒක මට අදාළ නෑ. මිනිස්සු ඡන්දෙ දෙන්නේ මට. මම ඒගොල්ලන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ නෑ” කියලා. “මහ මැතිවරණයක් ආවාම, මම ඒගොල්ලන් වෙනුවෙන් පෙනී ඉන්නෙත් නැහැ. ඒගොල්ලන්ට ඡන්දෙ එකතු කරන්න යන්නෙත් නැහැ” කියනවා. තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන අය ගැනවත් රනිල්ට විශ්වාසයක් නැහැ. එහෙම නායකත්වයකට රටක් හදන්න පුළුවන්ද? එක්කෝ ඔහුට ප්රශ්නය තේරුණේ නැහැ. එහෙම නැතිනම් ඔහුගේ උද්දච්චකමත් එක්ක ඔහුට ඒ කණ්ඩායම අදාළ නැහැ. ජාතික ජන බලවේගයේ තිබෙන ප්‍රධාන වෙනසත් ඒක. මෙතැන රජ කෙනෙක් නැහැ. අනුර සහෝදරයාගේ හිස මත ඔටුන්නක් තියන්න නොවෙයි මේ උත්සාහය. අපේ මේ උත්සාහය සාමූහික ව්‍යාපාරයක් හැටියට මේ රටේ ජනතාව ඇත්ත ජයග්‍රාහකයන් බවට පත්කරන්න.”
- අනුරාධා හේරත්, උඩවලව – සුරේන්ද්‍ර ගමගේ (මව්බිම)
0 Comments